Monday, October 25, 2021

පනින තාරාවුන් පිළිගන්න…


 

 

අද චූටි දුවගේ පාසල් ඇරඹෙනවා. ඊයේ පන්ති කාමර සුද්ද කරන්න ගියා. පැමිණ සිටි මාපියන් කිසිවෙකුට ඉදිරියේ සිදුවන දෑ පිළිබදව නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. මේ පිළිබදව මා හිතවත් ගුරුවරුන් සහ විදුහල්පතිනියක ද විමසුවා. සිත දිරිමත් කරන තොරතුරක් ලැබුනේනම් නැහැ. සිත් බිදී ගිය ඔවුන්ගෙන් මේ පිළිබදව ඇසීම එක් අතකට අර්ථ විරහිතයි. එනිසා ගුරු අරගලයේ දී මා ඔවුන්ගේ පස සිටගත් කමට හෝ මට ඔවුන්ගෙන් පිරිමසා ගන්නට යමක් නැහැ. අරගලයෙන් පෙර හෝ පසු මේ ක්‍රමය වෙනස් කරන්නට සාමුහික වැඩපිළිවෙළක් ඔවුන් වෙත ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.

පාලන තන්ත්‍රයට කවදත් ඒ පිළිබඳව වූයේ මන්ද බුද්ධියක්. ලෝකයේ දියුණු ක්‍රම පිළිබඳව ඔවුන් පාරම් බාන්නේ පයට පෑගී පීඩාවට පත් ජීවිත ගැන වගක් හෝ නොමැතිව.

මේ පාසල් පටන් ගන්නා මොහොත මට මහත් පීඩාවක්. මම අද හෝ හෙට පාසල් යවන්නේ මීට කලකට පෙර පාසල් යන දරුවා නොවේ. සම්පූර්ණ ජීවන රිද්මයම වසංගත මුවාවක සිරගතවීමෙන් වෙනස් වූ අයෙක්. පාසල සමහර ළමයින්ට කවදත් එතරම් ප්‍රීතිමත් තැනක් නොවේ. ඔවුන්ගේ වෙනස් ප්‍රවේශයන් තලා දැමීම එහි දී සෑම විටම සිදුවන දෙයක්. ඒක රේස් එකක්. ගුරුවරු සහ දෙමව්පියෝ දෙගොල්ලම අස්සයො දුවවන, දුවන අස්සයො අගයන, මග දිගට වටපිට බල බලා තමන් ගේ ගමනක් යන අස්සයොන්ට වචන වලින් වෙඩි තියන රේස් එකක්. ඒක විෂම යාන්ත්‍රණයක්.

ගුරුවරුන්ගේ ජීවන තත්වය හොද වෙනවට මම කැමතිත් ඒ නිසා. මොකද ඒ ප්‍රශ්නය තව බොහෝ ජීවිත වලට බලපාන නිසා. (ආර්ථික ප්‍රශ්නය සතුටේ සහ සහකම්පනයේ ප්‍රධාන තීරකයෙක්)


ඉතින් මේ වෙනස් වූ රිද්මයැති දරුවන් පිළිගන්නට මේ පද්ධතිය සූදානම් ද? මම හිතන්නෙ නැහැ.
ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහතික ද? ඒක ගැනත් කාටවත් විශ්වාස නැහැ.
මේ දරුවන් ගේ අතපසු වූ පාඩම් ආවරණය කිරීම බොහෝ විට සිදුවන්නට නියමිතව ඇත්තේ වැරදුණු කෝච්චිය අල්ලන්නට යන වේගයෙන්.

සැබවින්ම මේ කුඩාවුන්ට එසේ කිරීම අවශ්‍ය ද ? එයින් බොහෝ සමනළුන් ගේ තටු කැඩී යනු ඇති.
ඒ ගැන මට වතාවක් පැවසුවේ මගේ දියණියන්ගේ පෙර පාසල් ගුරුවරියයි. ඇගේ තරම්වි ශ්වසනීය කරුණු දැක්වීම මට අසන්නට ලැබුණේ අධ්‍යාපනය සම්බන්ධ වෙනත් එක් අයෙකුගෙන් පමණි. ඇය මගේ කෙල්ලන්ගේ ඉංග්‍රීසි කථන ගුරුවරියයි. ඇය පසුගිය කාලය පුරාම ඔන්ලයින් පන්ති පැවැත්වූයේ නැහැ. මා ඒ පිළිබඳව විමසු විට ඇය පවසා සිටියේ ඇය ප්‍රාථමික පන්ති සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක බවට විශ්වාස නොකරන බවත්, කුඩා දරුවන් තරමක කාලයක් අධ්‍යාපනයෙන් බැහැරව සිට නැවත පැමිණීමේ දී ඉතා ඉක්මනින් අදාළ මට්ටම සමඟ ගැලපෙන බවත්, අවශ්‍ය වන්නේ  ඥාවන්තයන් මඟ පෙන්වීමක් පමණක් බවත් ය. එනයින් මට කලබල නොවන ලෙසටත් ළමයින්ට ඔවුන් කැමති පරිදි අවිධිමත් අධ්‍යාපන අවස්ථා සළසන ලෙසත් ඇය පැවසුවා.

මගේ මිතුරියක සහ විදුහල්පතිනියකද ඒ හා සමානව මා සමඟ කරුණු දක්වා සිටියා.


ඉදින් දරුවන් ට කොවිඩ් සමයට පෙර තිබූ පාසල සම්බන්ධ හැඟීම ඉන් පසුව තව බරපතළ වනු නොවැළැක්විය හැකි දෙයක්. ඔවුන් සතුටින් තබන්න ට අප දරණ වෑයම සහ ඊට ඇති වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය එකක්.

සහකම්පනය අහිමි සමාජයක එය ස්වයංක්‍රීයව ජනනය වන්නේ නැහැ. සමාජ ක්‍රමයක් ලෙස දීර්ඝකාලීන ව ගොඩනඟන පුහුණුවකින් හෝ සංස්කෘතිකව ඇති කරගන්නා සාමුහික විඥානයක පදනමින් පෝෂණය වන සහකම්පනය සහිත ගුරුවරයෙකු හෝ සුවපහසු අධ්‍යාපනික වටපිටාවක් අප ගොඩනඟාගෙන නැහැ. වගකීම තනි පුද්ගලයෙකු ට නොපැරවෙන්නේ මේ නිසා.

අප ගමන් කරමින් සිටින්නේ පිරිහුන පද්ධතියක කෙළවරට. අගාධයට නොවැටී සිටීමේ දැනුම අතිශය දේශපාලනිකයි. වැටීම වළක්වාලීම සඳහා සමාජයක් සංස්කෘතිකව සහ දේශපාලනිකව සංවිධානය විය යුතුයි. එය ඊනියා ඡන්දයකින් ඔබ්බේ ඇති දෙයක්. ක්‍රම වෙනස ගුරු අරගලය තුළ පවා ඉදිරියට ගතයුතු කාරණාවක් එතෙක් අපේ දරුවන් තවදුරටත් හඬමින් පාසල් යනු ඇති. වේගයෙන් දිවෙන කෝච්චියක පා පුවරුවල හෝ එල්ලෙනු නොහී පැකිළෙනු ඇති. අමාරුවෙන් හෝ එල්ලුන උන් ජීවිත කාලයටම නැවත පසු පස හැලෙන උන් දෙස නොලබනු ඇති.

ගුරුවරුන් ගේ ජීවිත යහපත් කිරීමද, මේ ආචීර්ණකල්පික මුග්ධ සමාජ දේශපාලන ක්‍රමය වෙනුවට විවේක මනසින් සහ සහකම්පනයෙන් යුතු මනුස්ස සමාජයක උදාවන අනාගතය වෙනුවෙන් අපගේ කැපවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

– ඩිලන්ත රත්නායක  (fb)

https://lankaweb.lk/archives/34505?fbclid=IwAR2UCufjn0FLDubeb3ozL2bgm033Fkkj0sMGiQANq5c2vC1B6GtNB4F7ghM 

Friday, September 3, 2021

අනාගතය හමුවන දිනන තැන



වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

2008 අංක 31 දරණ පාර්ලිමේන්තු පණතින් පිහිටුවනු ලැබූ   රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය  ශ්‍රී ලාංකේය කාර්මික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එසේ වන්නේ ඇයි ද යන්නත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි   කාර්යභාරය, සේවාවන් සහ පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමත්, ඒ සඳහා වන ප්‍රවේශයේ ඇති ස්වරූපයත් සාකච්ඡාවට බඳුන් කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි.

ශ්‍රී ලාංකේය කාර්මික සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පැතිකඩ

වැඩි කලකට පෙර නොවේ මීට දශක තුනකට පමණ පෙර වුවද ලාංකේය තරුණ පුද්ගලයාට පාසල් සමයෙන් අනතුරුව තම ජීවන තත්වයේ උසස් බව අත්කරගැනීමට මෙරට පැවති අධ්‍යාපන සහ පුහුණු අවස්ථා වීනම් ඒ ඉතා සීමිත ප්‍රමාණයක්. උසස් අධ්‍යාපන අවස්ථා විවෘතව පැවති මහජන විශ්වවිද්‍යාල බොහොමයක්ම පාහේ සමන්විත වුනේ ශාස්ත්‍රීය පාඨමාලා වලින්. ව්‍යවහාරික සහ තාක්ෂණික ක්ෂේත්‍රයන් අරබයා සංවර්ධනය වූ  උසස්   අධ්‍යයන පාඨමාලා  වූයේ නම් ඒ සීමා සහිත ගිණිය හැකි තරමේ ප්‍රමාණයක් පමණයි. ඒවා සඳහා වූ ප්‍රවේශය ද විවෘතව තිබුණේ අදාළ විෂවව ධාරාවෙන් අපොස උසස් පෙළ සමර්ථ අයදුම්කරුවන්ට පමණයි.

වෘත්තීය අධ්‍යාපනය ලබන්නවුන්ට අවස්ථා ලෙස  එවක පැවතියේ  සීමිත ප්‍රමාණයක් වූ රජයේ සහ පෞද්ගලික අංශයේ පුහුණු ආයතන මගින් පවත්වනු ලැබූ සහතික පත්‍ර හෝ වෙනත් පාඨමාලාවන්. ඒවායිනුත් බොහොමයක් කර්මාන්තයේ අවශ්‍යතාවයන් සමග නොගැලපුන, සම්මතයකට අනුව නොසැකසුන සහ විධිමත් ආයතනික ව්‍යුහයකින් අනුව සංවිධානය නොවූ ඒවා. වෙනකක් තබා රජයේ පුහුණු ආයතන පවා පිළිගත් සම්මතයන්ට අනුව තම පාඨමාලා පවත්වාගෙන ගියේ නැහැ. ඒවා අතරේත් විෂමතා පැවතුනා. ඒ අනුව එකම ජීවනෝපායක් සදහා විවිධ ආයතන වලින් යොමුවන සුදුසුකම්ලාභීන් අතර නිපුණතා මට්ටම්වල අසමානතා සහ ගුණාත්මක වෙනස් කම් පැවතුනා.    

කෙබදු හෝ අධ්‍යාපනයක් තිරසාර වන්නටනම් ශාස්ත්‍රීය සහ වෘත්තීය අධ්‍යාපන ධාරාවන් පාසල් අධ්‍යාපනයේ පටන් ම සම්මත අනුකූලව සකස් වීමත්, රටේ අවශ්‍යතාවයන් පරාවර්තනය කිරීමත්, ආයතනගතව මනාව සංවිධානය වීමත්, විධිමත්ව කළමනාකරණය කිරීමත්, ගතික වන කර්මාන්ත අවශ්‍යතාවන් අනුව යාවත්කාලීන කිරීමත් වැදගත් කොට සැළකිය යුතුය.  

විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය වන අ.පො.ස. උසස් පෙළ විභාගය වන තෙක්ම තරුණයා හට තම අනාගත ගමන් මග  තීරණය කරන සාධකය ශාස්ත්‍රීය අධ්‍යාපන ධාරාව ද නැතහොත් වෘත්තීය අධ්‍යාපන ධාරාව ද යන්න තෝරාගැනීමේ පැහැදිළි මාර්ගෝපදේශයක් පැවතුනේ නැහැ. එය බොහෝ විට තීරණය කරනු ලබන්නේ තමන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව යන්නේ කුමන අවධියකදීද යන්නට අනුව. අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිඵල මත තරුණ පිරිස් බොහෝ විට එයින් මතු කුමන හෝ රැකියාවක නිරත වීමට යාම සුලබ කරුණක්. වෘත්තීය අධ්‍යාපනය වෙත එළැඹෙන බොහෝ පිරිස් මූලික පාඨමාලාවකින් පසුව රැකියා ගත වෙනව. එම  වැඩ පරිසරය තුළින් ලැබෙන අනුබලයේ මට්ටම පාදකව මේ පිරිස් අතරින් ද ඉදිරි අධ්‍යාපනය හා පුහුණුව වෙත යොමුවන්නේ අල්පයක්.  

මේ තත්වය වෙනස් කිරීම සඳහා වන මැදිහත්වීම් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම් වල  සැළකිය යුතු වර්ධනයක් මේ වන විට දැකගත හැකි වුවද තවත් බොහෝ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ අධ්‍යයනයන් සහ සංවාදයන් අඩු වැඩි වශයෙන් අඛණ්ඩව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පාලන තන්ත්‍රයන් යටතේ සිදුවෙමින් තිබෙනව.

යම් කර්මාන්ත ක්ෂේත්‍රයක ඉදිරි වර්ධනය සිදුවීමේ සාධකයක් ලෙස නවෝත්පාදනය සහ පර්යේෂණය ඉතා වැදගත් කාරණා කොට සළකනව. එනයින් ගත් කල ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර සඳහා නවෝත්පාදනය සහ පර්යේෂණය යන  සාධක සපුරාලීමට යම් පමණකට හෝ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ස්ථාපිතව පැවතුනා.

නමුත් ව්‍යවහාරික තාක්ෂණය ආශ්‍රිත කර්මාන්ත සහ සේවාවන්ට අදාළ පුහුණු ශ්‍රමය සැපයීමේ විධිමත් පදනම වූ තෘතීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයෙහි ඉහත කී සාධක සපුරාලීම සඳහා එතුලින් ම පැන නැගී වර්ධනය වූ ක්‍රියාවලියක් හෝ ආයතන පද්ධතියක්  ප්‍රමාණවත් ලෙස ස්ථාපිත වී තිබුණේ නැහැ.

1990 අංක 20 දරණ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන පාර්ලිමේන්තු පණතෙහි වැදගත්ම අරමුණක් වශයෙන් 2005 වර්ෂයේ දී ජාතික වෘත්තීය සුදුසුකම් ( වඩාත් ප්‍රචලිත කෙටි නාමය NVQ) රාමුව ස්ථාපිත කළායින්  පසු  එතෙක් ගුණාත්මක සංවර්ධන මාර්ගයේ වැසූ අන්තයන් සහිතව එක තැන ගල් ගැසී තිබූ බොහෝ ක්ෂේත්‍ර වල ඇති වුනේ විශාල පිබිදීමක්. වෘත්තීය සුදුසුකම් අත්පත් කර ගැනීමට සහ ඒ මත තම ජීවනෝපායන් අනුවම උසස් වන්නට තිබූ බාධාවන් ඉවත් වන බවට වූ අවබෝධය හේතුවෙන් ඒ සඳහා කැමැත්තක් සහිත තරුණ කොටස් සහ විවිධ වයස් වලට අයත් කර්මාන්තයේ විවිධ මට්ටම් වල කටයුතු කළ ශ්‍රමිකයින් අතර ඇතිවූයේ විශාල උනන්දුවක්. මෙම ක්‍රියාවලිය සඳහා අදාල වන ආයතන පද්ධතිය විධිමත්ව සංවිධානය වන්නට පටන් ගත්තා.

ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව වෘත්තීය පුහුණු හා කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ එතෙක් වූ බොහෝ ගැටලුවලට ලබාදුන් වැදගත් විසඳුමක්  වුනා.

ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ පළමුවෙනි මට්ටමේ සිට සතරවන මට්ටම දක්වා හඳුනාගනු ලබන්නේ ශිල්පීය නිපුණතාවයන් තහවුරු කෙරෙන සහතිකපත්‍ර සුදුසුකම් වශයෙන්. එහි පස්වෙනි සහ හයවෙනි මට්ටම් පිළිවෙලින් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වශයෙන් සලකනු ලබනවා. ඒවා සුපරීක්ෂක හෝ මධ්‍යම මට්ටමේ තාක්ෂණ කළමණාකරන තත්වයේ ජීවනෝපායන් සදහා සුදුසුකම් කොට සළකනවා. පස්වැනි මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ඇතුළුවීම සඳහා අයදුම්කරුවෙකු තුන්වන හෝ හතරවන මට්ටමේ සහතිකපත්‍ර සුදුසුකම් ලාභියෙකු වියයුතු වනවා. ඩිප්ලෝමා මට්ටම් පහ හෝ හය උපයා ගත් අයෙකුට ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ උපරිම තලය වන උපාධි මට්ටම ට ඇතුළු වීමේ අවස්ථාව උදා වනවා.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය  නමැති මේ නවමු උසස් අධ්‍යාපනික අදත්දැකීම ශ්‍රී ලංකාවට බිහි වන්නේ මෙන්න මේ පසුබිම තුළයි. එය දීර්ඝ කාලයක් තිස්සේ මේ හා සම්බන්ධ සංවාදයෙහි ඉදිරිගාමීව කටයුතු කළ පුරෝගාමී විද්වතුන් පිරිසකගේ උත්සාහයෙහිත්, ඒ සදහා එවක වූ ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ උනන්දුවෙහිත් උත්කෘෂ්ඨ වූ ප්‍රථිඵලයක්.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය තවදුරටත් සුවිශේෂී වන්නේ එය එම පන්නයේ පළමු ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය  වීම නිසයි.  2008 වර්ෂයේ පටන් මේ දක්වා ගතවුන දශකයකට වැඩි කාලය තුළ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකේය තෘතියික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ තම භූමිකාව ඉතා විශිෂ්ඨ ලෙස සනිටුහන් කොට තිබෙනවා. දහස් ගණනක් වූ ශ්‍රී ලාංකේය තරුණ පිරිස් වෙත උපාධි මට්ටමේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින්, ඒ ආශ්‍රිතව පර්යේෂණයේ නියැලෙමින්, නවෝත්පාදනය සහ තාක්ෂණික ව්‍යවසායකත්වය වර්ධනය කරනු පිණිස ස්වකීය දායකත්වය ලබාදෙමින් එය ඉටුකරන කාර්යභාරය සුවිශිෂ්ට එකක්.

අනෙකුත් විශ්වවිද්‍යාලයයන් සමඟ සලකන විට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ප්‍රමුඛතාවය ලබාදෙන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව ඔස්සේ පැමිණෙන පාඨමාලා අයදුම්කරුවන්ට.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බදවාගැනීමේ පරිපාටිය

ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ පස්වන හෝ සයවන මට්ටමේ සුදුසුකම් උපයාගත් ඩිප්ලෝමාධාරීන්ට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ  පැවැත්වෙන තම වෘත්තීය ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබෙනවා.

ජාතික වෘත්තීය සුදුසුකම් පමණක් නොව ඒ හා සමානව  විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් හෝ තෘතියික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු කොමිසම විසින් පිළිගනු ලබන වෙනත් ඩිප්ලෝමා පාඨමාලා ගණනාවක්ද විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමේ සුදුසුකම් වශයෙන්  පිළිගනු ලබනවා

ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව ඔස්සේ පැමිණෙන අයදුම්කරුවන් බදවා ගැනීම සිදු කරනු ලබන්නේ තෝරාගැනීමේ ලිඛිත පරීක්ෂණයක් මගින්. එයට හේතුව එක් එක් උපාධි පාඨමාලා සඳහා ඇති ඉල්ලුමේ ස්වරූපයයි. මීට අමතරව 2017 වර්ෂයේ පටන් අපොස උසස් පෙළ විභාගය තාක්ෂණික විෂයය ධාරාව ප්‍රමුඛව වෙනත් විෂයයධාරාවන්ගෙන් සමත්ව උසස් ප්‍රථිඵල පෙන්වූ අයදුම්කරුවන් ට ද තම ඉසෙඩ් අගය පදනමින් අයදුම් කර ඇතුළු වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් ඒ සතියේ දිනවල උපාධි පාඨමාලාවන් සදහා පමණයි. එමෙන්ම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වරම වන ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව ඔස්සේ පැමිණෙන අයදුම්කරුවන් ට ප්‍රමුඛතාවය ලබාදීමෙන් අනතුරුවයි. අපොස උසස් පෙළ සමතුන් කෙලින්ම පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව තාක්ෂණ උපාධි පාඨමාලාවන්ට එළැඹීමේ දී ඔවුන් සහ කර්මාන්තගත පුහුණුව සහ අත්දැකීම් සහිත වෘත්තීය සුදුසුකම් ලාභී සිසුන් අතර නිපුණතා නොගැලපුමක් ඇති වනවා. එය අවම කිරීම සදහා පිළියමක් ලෙස බදවා ගැනීමෙන් අනතුරුව උසස් පෙළ සමත් සිසුන් වෙත කර්මාන්තගත අනාවරණ වැඩසටහනක් විශ්වවිද්‍යාලය මගින් ලබා දෙනු ලබනවා.

උපාධි පාඨමාලා පැවැත්වීමේ ස්වරූපය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා දෙයාකාරයකින් පවත්වනු ලබනවා. ඒ සතියේ දිනවල සහ සති අන්ත වශයෙන්. විශේෂත්වය වන්නේ මේ පාඨමාලා වර්ග දෙකම එක් විෂය මාලාවක් පදනම් කොටගෙන පවත්වනු ලැබීමයි. මෙසේ සතියේ සහ සති අන්ත වශයෙන් පාඨමාලා පැවැත්වුවද ඒවායේ අධ්‍යයන වර්ෂ ගණන සමකාලනය (synchronize) කර තිබෙනවා.  විභාග පවා පවත්වනු ලබන්නේ එකම කාල රාමුවකට අනුවයි. එනිසා මේ සියලු දෙනාටම එකම කණ්ඩායමක් ලෙස උපාධි ලබා පිටව යෑමේ අවස්ථාව උදා වෙනවා.

සති අන්ත පාඨමාලාව විශේෂයෙන්ම පවත්වනු ලබන්නේ දැනට කර්මාන්තයේ රැකියාවල නිරත, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කැමැත්තක් දක්වන සුදුසුකම්ලාභීන් සඳහා.

සති අන්ත පාඨමාලා සඳහා අපොස උසස් පෙළ සුදුසුකම් ලාභීන් බඳවා ගනු ලබන්නේ නැහැ.

උපාධි පාඨ පාඨමාලාවල ඉගැන්වීමේ මාධ්‍යය

විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලාවල ඉගැන්වීමේ මාධ්‍යය වශයෙන් භාවිතා වන්නේ ඉංග්‍රීසි  භාෂාවයි.

තාක්ෂණික සහ වෘත්තීය දැනුම් ක්ෂේත්‍රයන් සාපේක්ෂ වශයෙන් ගෝලීය ප්‍රවණතාවයන් සහ තාක්ෂණික උසස්කරණයන් අනුව නිරන්තරයෙන් වෙනස්වීම් වලට බඳුන් වනවා. පාඨමාලා ඉංග්‍රීසි බසින් පැවැත්වීමේදී එම වෙනස්කම් නිරන්තරයෙන් සහ ඉතා ඉක්මනින් ග්‍රහණය කරගැනීමේ පහසුව සිසුන් වෙත හිමිව වනවා.

කර්මාන්තයේ ජීවනෝපායන් සඳහා අයදුම් කිරීමේදීත් පශ්චාත් උපාධි අධ්‍යයනයන් හි යෙදීමේදීත් දෙවන බසින් අධ්‍යාපන ලබා තිබීමේ සාධකය ඉතා වැදගත්.

සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය මට්ටමට වැඩිදියුණු කිරීම සදහා විශ්වවිද්‍යාලය තුළ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා වර්ධන පාඨමාලාවක් ද ක්‍රියාත්මකයි.  

විෂයන්ගෙන් නිදහස් කිරීම

ජාතික වෘත්තීය සුදුසුකම් සයවෙනි මට්ටම හෝ ඒ හා සමානව පිළිගනු ලබන වෙනත් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුන්ට වෘත්තීය තාක්ෂණික විද්‍යාලයේ උපාධි පාඨමාලාවල යම් විෂයයන් ප්‍රමාණයක් නිදහස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා පදනම වශයෙන් අදාළ ඩිප්ලෝමා පාඨමාලාවේ විෂයය අන්තර්ගතයන් සමග වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවල විෂයයන් විද්වත් මණ්ඩලයක් මගින් සිතියම් ගත කොට තිබෙනවා. මෙහිදී  විශ්වවිද්‍යාලයේ කොන්දේසි වලට යටත්ව උපරිම වශයෙන් සමාසික දෙකක නැතිනම් එක් අධ්‍යයන වර්ෂයක පාඨමාලා විෂයන් වලින් නිදහස් වීමේ අවස්ථාව සිසුන්ට දී සළසා තිබෙනවා.

සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා

2008 වර්ෂයේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කරන විට එම සියලුම පාඨමාලා ඇරඹුණේ සාමාන්‍ය උපාධි පාඨමාලාවන් වශයෙන්. නමුත් 2021 වර්ෂයේ පටන් තුන් අවුරුදු   සාමාන්‍ය උපාධිය සම්පූර්ණ කරනු ලබන සිසුන්ට අවශ්‍යනම් සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා. එය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද  ක්‍රියාවලියක සුවිශේෂී ප්‍රතිඵලක්.    

විෂයමාලා වල  සුවිශේෂී බව, කර්මාන්ත සහ ශාස්ත්‍රිය සබදතා

විශ්වවිද්‍යාලයේ සියලුම උපාධි පාඨමාලා සකස් කොට ඇත්තේ සපුරාම කර්මාන්තයේ අවශ්‍යතාවයන් නිරූපණය වන පරිදිය. ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයට පමණක් නොව ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රයට ද උචිත ආකාරයෙන් වඩාත් යාවත්කාලීන වූ දැනුම් සහිතව මෙම පාඨමාලා සංවර්ධනය කොට තිබෙනවා.

පාඨමාලා සංවර්ධනය කිරීමේ දී  අදාළ කර්මාන්ත හෝ තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය ආයතන, පුහුණු ආයතන, කීර්තිමත් ව්‍යවසායකයින්, වෘත්තිකයන් සහ ප්‍රාමාණික විද්වතුන්ගේ ද දායකත්වය ලබාගෙන තිබෙනවා. උපාධි පාඨමාලාවල ආකෘතිය සහ එහි අන්තර්ගතයන් කර්මාන්තයේ සිදුවන වෙනස්වීම් වලට අනුකූලව වරින් වර නැවත සලකා බැලීම සිදුකළ යුතුයි. එවන් යාවත්කාලීන කිරීම් ආදිය සඳහා විශ්වවිද්‍යාලය කර්මාන්තය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පිහිටුවාගත් කර්මාන්ත සම්බන්ධීකරණ කමිටු” (Industrial Liaison Committees) නම් වූ ව්‍යුහයක්  සෑම උපාධි පාඨමාලාවක් වෙනුවෙන්ම පිහිටුවා තිබෙනවා.

විෂයමාලා සියල්ලම න්‍යායික දැනුමට පමණක් සීමා නොකොට ප්‍රායෝගික පුහුණුව සහ දැනුම ලබා ගැනීමේ මාර්ගෝපදේශ අනුව සකස් කොට තිබෙනවා.

සෑම උපාධි පාඨමාලාවකම සිසුන් ඔවුන්ගේ පස්වන පස්වන සමාසිකයේ දී (Semester) කර්මාන්තගත පුහුණුවකට යොමු කරනු ලබනවා. එය සය මාසික විධිමත් පුහුණුවක්. මෙම කාල සීමාව සිසුන්ට කර්මාන්තයේ සහ ව්‍යවසායකත්වන්ගේ ප්‍රායෝගික භාවිත, කළමණාකරණ උපායමාර්ග, කණ්ඩායම් කුසලතා ආදියෙහි ප්‍රවේශයන් වෙත එළැඹීමටත්, තමන් ලබාගත් දැනුම කර්මාන්තයේ අවශ්‍යතා සමඟ සංසන්දනාත්මකව අවබෝධ කර කරගැනීමටත් ලැබෙන අවස්ථාවක්. බොහෝ විට සිසුන්ට තමන්ගේ අනාගත අභිලාෂයන් පිළිබඳව මූලික ප්‍රවේශයන්ට එළැඹීමට සහ විවෘත මනසින් සිතීමට ද මෙම කාල සීමාව ප්‍රයෝජනවත් වෙනව.  

කර්මාන්තයේ අවශ්‍යතාවයන් සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය යන පාර්ශ්ව දෙකටම වාසිදායක වන පරිදි කර්මාන්තයේ විවිධ ආයතන සමඟ වරින්වර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් මනා වූ කර්මාන්ත විශ්වවිද්‍යාල සබඳතාවයකට අවස්ථාවන් සලසා තිබෙනව. එපමණක් නොව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වැනි  වෘත්තික ආයතන සමඟ ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම් නිසා සිසුන්ට තම වෘත්තීය ආයතනයන් හි සාමාජිකත්වයන් ලබාගැනීමේ අවකාශයන් පවතිනව.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය අනෙකුත් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සමඟ ද සමීපව කටයුතු කරනු ලබනව. විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර වලට අයත් පුහුණු ආයතන සමඟ එක්ව නව පන්නයේ උපාධි පාඨමාලා ලාංකේය ප්‍රජාව වෙත හඳුන්වා දීම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අනාගත වැඩපිළිවෙළෙහි ප්‍රධානම අංගයක්.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංසදයේ සාමාජික විශ්වවිද්‍යාලයක්.

විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මේ වන විට විවිධ ක්ෂේත්‍රවලට අයත් උපාධි පාඨමාලා දහසයක් (16) ක්‍රියාත්මකව තිබෙනවා. එම පාඨමාලා අධ්‍යන පීඨ හතරක් (04) යටතේ ස්ථාපිත අධ්‍යනාංශ දහතුනක් (13) මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. එම පාඨමාලා තාක්ෂණවේදී සහ වෙනත් උපාධි පාඨමාලා වශයෙන් ක්‍රියාත්මක වෙයි.

ඉංජිනේරු තාක්ෂණය පීඨය යටතේ ක්‍රියාත්මක උපාධි පාඨමාලා වන්නේ මෙකාට්‍රොනික් තාක්ෂණය, ගොඩනැගිලි සේවා තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය සහ ඉදිකිරීම් තාක්ෂණ‍ සහ සම්පත්  කළමනාකරණ ආදී වශයෙන් වන උපාධි පාඨමාලාවන්.

කර්මාන්ත තාක්ෂණ පීඨය යටතේ උපාධි පාඨමාලා පහක් තිබෙනවා. ආහාර සැකසීමේ තාක්ෂණය, කර්මාන්ත කලමනාකරණ තාක්ෂණය, ප්‍රමාණ සමීක්ෂණ, සිනමා සහ ටෙලිවිෂන් නිෂ්පාදන තාක්ෂණ, මාධ්‍ය කලා නිෂ්පාදන තාක්ෂණ සහ හෝටල් කලමනාකරණ යන උපාධි පාඨමාලාවන් ඒ අතරට අයත්.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පීඨය යටතේ මෘදුකාංග තාක්ෂණය, බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණය, ජාල තාක්ෂණය වශයෙන් වන ක්ෂේත්‍ර වලට අයත් උපාධි පාඨමාලා තුනක් තිබෙනවා.

අධ්‍යාපන පීඨය යටතේ ඇති උපාධි පාඨමාලා වන්නේ අධ්‍යාපන තාක්ෂණවේදය, ඉංග්‍රීසි ඉගැන්වීම් පිළිබඳ අධ්‍යාපනවේදි උපාධිය සහ 2021 දී අභිනවයෙන් හඳුන්වා දෙනු ලබන භාෂා පරිවර්තනය පිළිබඳ උපාධිය යන ඒවාය.

 

සුවිශේෂී උපාධි පාඨමාලා

භාෂා පරිවර්තනය පිළිබඳ වූ උපාධි පාඨමාලාව  2021 වර්ෂයේ දී අභිනවයෙන් හඳුන්වා දෙන උපාධි පාඨමාලාවයි. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන වැනි ක්ෂේත්‍රයන් ගණනාවක භාෂා පරිවර්තනය පිළිබඳ අවශ්‍යතාවය නිරන්තරයෙන් හඳුනාගන්නට පුළුවන්. මෙම පාඨමාලාවට අයදුම් කිරීම් සඳහා  ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සුදුසුකම් ලාභීන්ට මෙන්ම උසස් පෙළ සමතුන්ට ද අවස්ථාව පවතනවා

හෝටල් කළමනා කළමනාකරණය පිළිබඳ උපාධි පාඨමාලාව ද තවත් සුවිශේෂී පාඨමාලාවක්. ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය ස්වකීය ප්‍රධාන ආදායම් මාර්ගවලින්  වලින් එකක් කොට සලකනු ලබන රටක හෝටල් කළමනාකරණය පිළිබඳ විශ්ලේෂී දැනුමෙන් යුතු පිරිසක් ගොඩනැංවීමේ දී මෙම උපාධි පාඨමාලාව ඉතා වැදගත් වනවා. මේ සඳහා අයදුම් කළ හැක්කේ හෝටල් කළමනාකරණ හෝ සත්කාරක සේවා කලමනාකරණ හෝ සංචාරක ක්ෂේත්‍රයට අයත් ඩිප්ලෝමා සුදුසුකම්ලාභීන්ට ය

සිනමා සහ ටෙලිවිෂන් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව ආරම්භ කරනු ලබන්නේ 2014 වර්ෂයේ දී. මේ වන විට උපාධිලාභීන් කණ්ඩායම් දෙකක් විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිනමාවට සහ ටෙලිවිෂන් කර්මාන්ත අංශයන් හි ඇති  තාක්ෂණික සහ නිර්මාණාත්මක මානව සම්පතෙහි අවශ්‍යතාවය මත අදාළ ක්ෂේත්‍රයන් වෙනුවෙන්ම කැපවූ ප්‍රථම උපාධි පාඨමාලාව වශයෙන් පමණක් නොව කර්මාන්තයේ කටයුතු කරන පිරිස් වලට උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය සහිත එකම පාඨමාලාව වශයෙන් ද සිනමා සහ ටෙලිවිෂන් නිෂ්පාදන තාක්ෂණ උපාධි පාඨමාලාව වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළ සුවිශේෂී වනවා.

මේ සඳහා බඳවා ගනු ලබන්නේ දැනට අදාල ක්ෂේත්‍රයන්හි ඩිප්ලෝමා සුදුසුකම් ලබා සිටින කර්මාන්තය තුළ  කටයුතු කරන අයදුම්කරුවන් අතුරිනි.

නිදහස් අධ්‍යාපනය සහ වෙනත් ශිෂ්‍ය සුබ සුබසාධන පහසුකම්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පාර්ලිමේන්තු පනතකින්  තහවුරු කරන ලද පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. මෙහි සියලුම පාඨමාලා ගාස්තුවලින් නිදහස් ව ක්‍රියාත්මක කරනු ලබනවා. ඊට අමතරව සිසුන් වෙත නේවාසිකාගාර පහසුකම්, ප්‍රවාහන පහසුකම්, වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම රජය විසින් විශ්වවිද්‍යාල සිසුන් වෙත වරින් වර ලබා දෙනු ලබන සහන බොහොමයක්ද වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන ලබන සිසුන් වෙත හිමි වනවා.

සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උසස් මට්ටමේ විද්‍යාගාර, දේශන ශාලා, ශ්‍රවණාගාර සහ පුස්තකාල ආදී සියලුම පහසුකම් වලින් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පරිසරය සමන්විතයි.

අනාගතය හමුවන දිනන තැන.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය බිහිවීම ලාංකේය  අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි මෙතෙක් වූ අත්දැකීමට වෙනස් ව දීර්ඝ කාලයක පටන් සාකච්ඡා වූ අදහසක් යථාර්තයක් බවට පත්වීමයි. ජාතික ආයතනයක් වශයෙන් එය ලාංකීය අධ්‍යාපනයේ අනාගත හැඩය තීරණය කිරීමේ ප්‍රධානතම සාධකයක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා වයස් බේදයක් හෝ වෙනයම් වූ සීමාවක් ඔබට අවහිර කරන්නේ නැහැ.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිලාභීන් ලෝකය වෙත පියමං කරන්නේ නවීන යාවත්කාලීන වූ පර්යේෂණාත්මක දැනුමක් ද කිසිවෙකුටත් නොදවෙනි  තාක්ෂණික ව්‍යවසායක චින්තනයක් ද,   විවෘත මනසින් යුතු ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ ආත්ම විශ්වාසයක් සමඟය.

සියලුම උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් මේ වනවිට කැඳවා තිබෙනවා. අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0112630700/ 0112630777 ඔස්සේ අමතන්න. නොඑසේ නම් www.uovt.ac.lk වෙබ් අඩවියට පිවිස විමසන්න.

 

ඩිලන්ත රත්නායක

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අධ්‍යයනඅංශ ප්‍රධානී

සිනමා සහ ටෙලිවිෂන් අධ්‍යනාංශය

කර්මාන්ත තාක්ෂණ පීඨය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

dilantharathnayake@gmail.com

 

 

    

 

 


Wednesday, August 11, 2021

සුවැති තැනක්



__________________


මේ

සුසුමින් උණුසුම තැනෙන             තැනක් 

මුදු පිය මද නළ හමන                   තැනක්

තුරු පත් හෙමිහිට සැලෙන         තැනක්

එ අගින් නැළවිලි ගැයෙන             තැනක් 


මේ

රළු ගල් සුසුමන් හෙලන             තැනක්

රළු සැඩ පහරද නිවෙන             තැනක්

දෙ ඉවුරු මල් පිපි සුවැති             තැනක්

ම දිවිය හෙමිහිට ගලන              තැනක්


ඩිලන්ත රත්නායක

12.08.2021