අද චූටි දුවගේ පාසල් ඇරඹෙනවා. ඊයේ පන්ති කාමර සුද්ද කරන්න ගියා. පැමිණ සිටි මාපියන් කිසිවෙකුට ඉදිරියේ සිදුවන දෑ පිළිබදව නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. මේ පිළිබදව මා හිතවත් ගුරුවරුන් සහ විදුහල්පතිනියක ද විමසුවා. සිත දිරිමත් කරන තොරතුරක් ලැබුනේනම් නැහැ. සිත් බිදී ගිය ඔවුන්ගෙන් මේ පිළිබදව ඇසීම එක් අතකට අර්ථ විරහිතයි. එනිසා ගුරු අරගලයේ දී මා ඔවුන්ගේ පස සිටගත් කමට හෝ මට ඔවුන්ගෙන් පිරිමසා ගන්නට යමක් නැහැ. අරගලයෙන් පෙර හෝ පසු මේ ක්‍රමය වෙනස් කරන්නට සාමුහික වැඩපිළිවෙළක් ඔවුන් වෙත ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.
පාලන තන්ත්‍රයට කවදත් ඒ පිළිබඳව වූයේ මන්ද බුද්ධියක්. ලෝකයේ දියුණු ක්‍රම පිළිබඳව ඔවුන් පාරම් බාන්නේ පයට පෑගී පීඩාවට පත් ජීවිත ගැන වගක් හෝ නොමැතිව.
මේ පාසල් පටන් ගන්නා මොහොත මට මහත් පීඩාවක්. මම අද හෝ හෙට පාසල් යවන්නේ මීට කලකට පෙර පාසල් යන දරුවා නොවේ. සම්පූර්ණ ජීවන රිද්මයම වසංගත මුවාවක සිරගතවීමෙන් වෙනස් වූ අයෙක්. පාසල සමහර ළමයින්ට කවදත් එතරම් ප්‍රීතිමත් තැනක් නොවේ. ඔවුන්ගේ වෙනස් ප්‍රවේශයන් තලා දැමීම එහි දී සෑම විටම සිදුවන දෙයක්. ඒක රේස් එකක්. ගුරුවරු සහ දෙමව්පියෝ දෙගොල්ලම අස්සයො දුවවන, දුවන අස්සයො අගයන, මග දිගට වටපිට බල බලා තමන් ගේ ගමනක් යන අස්සයොන්ට වචන වලින් වෙඩි තියන රේස් එකක්. ඒක විෂම යාන්ත්‍රණයක්.
ගුරුවරුන්ගේ ජීවන තත්වය හොද වෙනවට මම කැමතිත් ඒ නිසා. මොකද ඒ ප්‍රශ්නය තව බොහෝ ජීවිත වලට බලපාන නිසා. (ආර්ථික ප්‍රශ්නය සතුටේ සහ සහකම්පනයේ ප්‍රධාන තීරකයෙක්)
ඉතින් මේ වෙනස් වූ රිද්මයැති දරුවන් පිළිගන්නට මේ පද්ධතිය සූදානම් ද? මම හිතන්නෙ නැහැ.
ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහතික ද? ඒක ගැනත් කාටවත් විශ්වාස නැහැ.
මේ දරුවන් ගේ අතපසු වූ පාඩම් ආවරණය කිරීම බොහෝ විට සිදුවන්නට නියමිතව ඇත්තේ වැරදුණු කෝච්චිය අල්ලන්නට යන වේගයෙන්.
සැබවින්ම මේ කුඩාවුන්ට එසේ කිරීම අවශ්‍ය ද ? එයින් බොහෝ සමනළුන් ගේ තටු කැඩී යනු ඇති.
ඒ ගැන මට වතාවක් පැවසුවේ මගේ දියණියන්ගේ පෙර පාසල් ගුරුවරියයි. ඇගේ තරම්වි ශ්වසනීය කරුණු දැක්වීම මට අසන්නට ලැබුණේ අධ්‍යාපනය සම්බන්ධ වෙනත් එක් අයෙකුගෙන් පමණි. ඇය මගේ කෙල්ලන්ගේ ඉංග්‍රීසි කථන ගුරුවරියයි. ඇය පසුගිය කාලය පුරාම ඔන්ලයින් පන්ති පැවැත්වූයේ නැහැ. මා ඒ පිළිබඳව විමසු විට ඇය පවසා සිටියේ ඇය ප්‍රාථමික පන්ති සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක බවට විශ්වාස නොකරන බවත්, කුඩා දරුවන් තරමක කාලයක් අධ්‍යාපනයෙන් බැහැරව සිට නැවත පැමිණීමේ දී ඉතා ඉක්මනින් අදාළ මට්ටම සමඟ ගැලපෙන බවත්, අවශ්‍ය වන්නේ ඥාවන්තයන් මඟ පෙන්වීමක් පමණක් බවත් ය. එනයින් මට කලබල නොවන ලෙසටත් ළමයින්ට ඔවුන් කැමති පරිදි අවිධිමත් අධ්‍යාපන අවස්ථා සළසන ලෙසත් ඇය පැවසුවා.
මගේ මිතුරියක සහ විදුහල්පතිනියකද ඒ හා සමානව මා සමඟ කරුණු දක්වා සිටියා.
ඉදින් දරුවන් ට කොවිඩ් සමයට පෙර තිබූ පාසල සම්බන්ධ හැඟීම ඉන් පසුව තව බරපතළ වනු නොවැළැක්විය හැකි දෙයක්. ඔවුන් සතුටින් තබන්න ට අප දරණ වෑයම සහ ඊට ඇති වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය එකක්.
සහකම්පනය අහිමි සමාජයක එය ස්වයංක්‍රීයව ජනනය වන්නේ නැහැ. සමාජ ක්‍රමයක් ලෙස දීර්ඝකාලීන ව ගොඩනඟන පුහුණුවකින් හෝ සංස්කෘතිකව ඇති කරගන්නා සාමුහික විඥානයක පදනමින් පෝෂණය වන සහකම්පනය සහිත ගුරුවරයෙකු හෝ සුවපහසු අධ්‍යාපනික වටපිටාවක් අප ගොඩනඟාගෙන නැහැ. වගකීම තනි පුද්ගලයෙකු ට නොපැරවෙන්නේ මේ නිසා.
අප ගමන් කරමින් සිටින්නේ පිරිහුන පද්ධතියක කෙළවරට. අගාධයට නොවැටී සිටීමේ දැනුම අතිශය දේශපාලනිකයි. වැටීම වළක්වාලීම සඳහා සමාජයක් සංස්කෘතිකව සහ දේශපාලනිකව සංවිධානය විය යුතුයි. එය ඊනියා ඡන්දයකින් ඔබ්බේ ඇති දෙයක්. ක්‍රම වෙනස ගුරු අරගලය තුළ පවා ඉදිරියට ගතයුතු කාරණාවක් එතෙක් අපේ දරුවන් තවදුරටත් හඬමින් පාසල් යනු ඇති. වේගයෙන් දිවෙන කෝච්චියක පා පුවරුවල හෝ එල්ලෙනු නොහී පැකිළෙනු ඇති. අමාරුවෙන් හෝ එල්ලුන උන් ජීවිත කාලයටම නැවත පසු පස හැලෙන උන් දෙස නොලබනු ඇති.
ගුරුවරුන් ගේ ජීවිත යහපත් කිරීමද, මේ ආචීර්ණකල්පික මුග්ධ සමාජ දේශපාලන ක්‍රමය වෙනුවට විවේක මනසින් සහ සහකම්පනයෙන් යුතු මනුස්ස සමාජයක උදාවන අනාගතය වෙනුවෙන් අපගේ කැපවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.
– ඩිලන්ත රත්නායක (fb)
https://lankaweb.lk/archives/34505?fbclid=IwAR2UCufjn0FLDubeb3ozL2bgm033Fkkj0sMGiQANq5c2vC1B6GtNB4F7ghM
