Sunday, August 10, 2014

කෙටි චිත්‍රපටය පිළිබඳ කෙටියෙන්

කෙටි චිත්‍රපටය පිළිබඳ කෙටියෙන්

කෙටි චිත්‍රපටය ඊටම අනන්‍ය වූ ආකෘතික සහ අන්තර්ගතමය සුවිශේෂිතාවයන් සහිත චලන රූපමය ප්‍රකාශන විධියක්. සම්ප්‍රදායික අර්ථ කථනයන් අනුව කෙටි චිත්‍රපට ගණයේ ලා සැලකෙන්නේ  විනාඩි 40 හෝ ඊට අඩු ධාවන කාල පරාසයකින් යුතු සිනමා ප්‍රකාශනයි.
කෙටි චිත්‍රපට ඉතා කුඩා ධාවන කාලයන් තුළ ද නිර්මාණය වන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් Short shorts වශයෙන් හඳුන්වන විනාඩි 3 ට අඩු චිත්‍රපට හඳුන්වන්න පුළුවන්.
නමුත් කෙටි චිත්‍රපටය කෙටි වන්නේ කාලය නිර්ණායකය කරගනිමින් ද යන්න විවාදයට බඳුන්  වන කරුණක්.

සිනමාවේ මුල් යුගයේ දී තැනුන තනි රීලයේ චිත්‍රපටල වූ විනාඩි 07 08 වැනි අඩු ධාවන කාලය හේතුවෙන් ඊට ගැලපෙන ලෙස අදාල අන්තර්ගතයන් ද සකසා ගන්නට සිදුව තිබුණි. වෘත්තාන්ත චිත්‍රපටයේ සම්භාව්‍ය ආරම්භය වූ “ග්‍රිෆිත්ගේ ද බර්ත් ඔෆ් අ නේෂන් ” නිෂ්පාදනය වූ පසු ඊට සාපේක්ෂව කෙටි චිත්‍රපට ආඛ්‍යානයන් හි සුවිශේෂී බව කැපී පෙනෙන්නට වූ අතරම එය වෙනමම චිත්‍රපට කුලකයක්ව ගොඩනැඟීම ද වේගවත් වුනා.
සැබවින්ම ලොව මුල්ම සිනමා කෘතින් ලෙස සැලකෙන ලුමියර් සොයුරන් රූගත කළ චලන රූ වල වූ යම් නිෂ්චිත කෙටි සිදූවීමක්, මොහොතක් සිනමාරූපීව දැක්වීමේ ස්වරූපය කෙටි චිත්‍රපටයේ අද දක්වාම නොවෙනස් ලක්ෂණයක්.


ආරම්භක යුගයේ දී දැවැන්ත සිනමා නිෂ්පාදන සමාගම් කෙටි චිත්‍රපටය වාණිජමය සාර්ථකත්වයක් සඳහා භාවිතා කරන අවස්ථා පැවතිය ද 1950 දශකයෙන් පමණ පසු  එය මූලිකවම නවක හා තරුණ නිර්මාණකරුවන්ගේ උත්සාහයන්, ආත්ම ප්‍රකාශනයන් හෝ සමාජ විනිවිද දැකීම් වශයෙන් ගොඩනැඟුන සිනමා ධාරාවක් බවට පත්වූවා.

එමෙන්ම සමාජයේ ප්‍රධාන චින්තන ධාරාවෙන් විකල්ප වූ ප්‍රකාශන මානයක් ලෙසට ද කෙටි චිත්‍රපටය පොලාපැන්නා.

ප්‍රංශ නවරැල්ල ඉතාලියානු නව යථාර්ථවාදය වැනි ලෝක සිනමා ප්‍රවණතාවන්හි චින්තනමය බලපෑම කෙටි චිත්‍රපට කරණයට පිවිසෙන පිරිස්වල ප්‍රමාණය වැඩි කළා.
නිදහස් කැමරා චලන, සමාජයේ ඇස නොගැටුන කථා තේමාවන්, ඉතා අඩු පිරිවැය මෙන්ම පිරිවැයක් නොමැති නිෂ්පාදන (No budget productions) ස්වරූපයෙන් කෙටි චිත්‍රපට නිර්මාණය වන්නට වූවා.


සජීවීකෘත කෙටි චිත්‍රපට     

සජීවීකරණය කෙටි චිත්‍රපටයේ පමණක් නොව චලන චිත්‍රයේ ම ආරම්භයට පදනමක් වූවා.  එමෙන්ම සජීවිකෘත කෙටි චිත්‍රපට සාමුහික ශ්‍රමයේ සහ වෘත්තීමය නිපුණතාවයන්හි අග්‍ර ප්‍රතිඵලයක් ලෙස ද කැපී පෙනෙනවා.
නූතන සජීවීකෘත කෙටි චිත්‍රපටය නූතන චිත්‍ර කලාවේ ආභාෂය මෙන්ම දාර්ශනික හරයන් ද ග්‍රහණය කොට ගත් ඒවා වෙනවා. එමෙන්ම වාණිජමය වශයෙන් සාර්ථක සජීවිකෘත වෘත්තාන්ත සිනමාවේ වෙළෙඳපල ශාඛාවන් ලෙස විශේෂයෙන් ම හොලිවුඩයේ ඉතා දැවැන්ත අයවැය සහිත සජීව කෘත සිනමා පට බිහිවීම සුළභයි.
සජීවිකෘත කෙටි චිත්‍රපට සඳහා පමණක්ම වෙන් වූ සිනමා උළෙල ගණනාවක් පවතිනවා. හොලිවුඞ් ඔස්කාර් සම්මාන උළෙල තුල කෙටිචිත්‍රපටයට මෙන්ම සජීවිකෘත කෙටි චිත්‍රපටයටද වෙන්වූ සුවිශේෂි ඉඩකඩක් පවතිනවා.
පික්සර් ඇනිමේෂන්ස් සමාගම කෙටි චිත්‍රපට ඔස්සේ කර්මාන්තයට පිවිස මේ වනවිට දැවැන්ත ලෙස ආයෝජනයන් සිදුකරන සමාගමක්.
වැය කළ යුතු ශ්‍රමය සහ කාලය මෙන්ම ඊට අනුරූපීව මුදල්ද වශයෙන් වැයකළයුතු වීමේ අධික බව සජීවිකෘත වෘත්තාන්ත සිනමාවට මතු නොව කෙටි චිත්‍රපටය තම මාධ්‍ය කරගැනීමේ දී තනි නිර්මාණ කරුවන් අධෛර්මත් කරන සුළුයි.
නමුත් පරිගණක දැනුමේ පහසු ප්‍රවේශයත් මාධ්‍ය තාක්ෂණයේ සුලභ ව්‍යවහාරයන්හිත් ප්‍රථිඵලයක් ලෙස එම සීමාවන් අතික්‍රමණය කරමින් ලංකාව වැනි රටවල පවා මෙම අපූර්ව නිදහස් මාධ්‍ය ආත්ම ප්‍රකාශනය කොටගත් පිරිසක් බිහිවෙමින් පවතිනවා.

  
කෙටි චිත්‍රපටයේ ව්‍යවහාරය සහ ප්‍රදර්ශන අවකාශය
  
කෙටි චිත්‍රපට සඳහා තාක්‍ෂණික සම්පත්වල ඇති විශිෂ්ටත්වය ප්‍රාථමික පදනමක් ලෙස සළකන්නේ නැහැ. කෙටි චිත්‍රපටකරණයේ ම යෙදෙන වෘත්තීය පිරිසක් නොසිටිනවා නොවේ. නමුත් බොහෝ විට මෙය ජනප්‍රියව ඇත්තේ ආධුනික නොවිධිමත්ව ගොඩනැඟුන දැනුමක් සහිත තරුණ කොටස් අතරයි. ජංගම දුරකථනයේ පටන් වෘත්තීයමය සිනමා කැමරාවක් දක්වා සමස්ථ පරාසය තුලම කෙටි චිත්‍රපටයේ රූපගත කිරීම් තාක්‍ෂණය විහිදෙනවා. කැමරාවේ ඩිජිටල් පරිවර්තනය කෙටි චිත්‍රපට කලාවේ නිපැයුම් තාක්‍ෂණය අතිශය සරළ සහ ලාබ එකක් බවට පත් කළා.

නිසැකවම යූ ටියුබ් වෙත දිනකට මුදා හැරෙන විවිධ මට්ටම්වල කෙටි රූපාවලීන් ලක්ෂ ගණන අනුව ලොව සෑම පුද්ගලයෙකුම චිත්‍රපට කරුවෙකු බවට පත්කොට තිබෙනවා.
රූගත කිරීම හා අවසන් නිෂ්පාදනය ලබා ගැනීම යන ප්‍රධාන අවශ්‍යතා සියල්ලම අවශ්‍ය නම් තම ජංගම දුරකථනයෙන් ඉටු කර ගන්නට පුළුවන් මට්මට අද තාක්ෂණය සරළයි.

කෙටි චිත්‍රපටය ලාභයම අපේක්‍ෂා නොකරන අතර කථා තේමාවන් සමාජයේ නොඉඳුල්, ස්පර්ෂ නොකළ ඉසව් සොයමින් විහිද යනවා. තවත් විටෙක එය ප්‍රධාන චින්තන ධාරාවන්ට සහ මහා සම්ප්‍රදායට විකල්ප කලාවක් ලෙස පෙනී සිටිනවා.


කෙටි චිත්‍රපටය තවත් සිනමාවේ න්‍යායික සහ ප්‍රයෝගික දැනුම පිළිබඳ පර්යේෂණාගාරයක්. කෙටි කාලයක් තුල අදහස් ප්‍රකාශනයට දරණ විවිධ උපක්‍රම අවසානයේ දී නව සිනමා රීතීන් තාක්‍ෂණික භාවිතයන් මතු නොව නව සිනමා විචාර හා චින්තන සම්ප්‍රදායන් ද බිහි වීමට මඟ පෑදූ පර්යේෂණ බවට පත්ව තිබෙනවා.

සාමාන්‍ය මහජන ප්‍රදර්ශන අවකාශයන් කෙටි චිත්‍රපට සඳහා බොහෝවිට නොගැලපෙන අතර එය වෘත්තාන්ත සිනමාවටත් වඩා සුවිශේෂී ප්‍රේක්ෂක පිරිසක් අරමුණු කරනවා. එනයින් යූ ටියුබ් මෙන්ම ලෝකයේ ඇති බොහෝ ගණනක් කෙටි චිත්‍රපට උළෙල සැබවින්ම කෙටි චිත්‍රපටකරුවාගේ ප්‍රදර්ශනය අවකාශයක් වශයෙන් ඉතා වැදගත්.


ලාංකේය කෙටි චිත්‍රපට අත්දැකීම

දෙදහස වසරෙන්  පසු සමය ලාංකේය කෙටි චිත්‍රපට කලාව තරුණ ප්‍රකාශන විධියක් ලෙස වඩා ව්‍යාප්තව ගොඩනැඟෙමින් පවතිනවා. විවිධ ආයතන ස්වකීය ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස මෙන්ම කිහිපයක් වූ කෙටි චිත්‍රපට වෙනුවෙන්ම කැපවූ ආයතන සිදු කළ මැදිහත්වීම් මඟින් සමාජයේ නිර්මාණකරුවන් පිරිසක් උපදවා ගැනීමටත් ඔවුන් අතුරින් විමුක්ති ජයසුන්දර, මාලක දේවප්‍රිය ඇතුළු කිහිප දෙනෙක් විශ්වීය තලයට රැගෙන යාමටත් අවශ්‍ය මග පෙන්වා තිබෙනවා.

කෙටි සිනමාව ලාංකේය සිනමාව තුල ආගන්තුක වූයේ පසුගිය දශක කිහිපයක දී පමණි.
සිනමා තාක්ෂණය සුළභ නොවූ, ප්‍රදර්ශන  අවකාශයන් සීමාසහිත වූ සමයක කෙටි චිත්‍රපට නිර්මාණය කරන්නට ප්‍රවේශ වූවන් පිරිසක් ලංකාවේ සිටියා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ මෙම පරපුරේ පූර්වගාමීන්.

කෙටි චිත්‍රපටය නිෂ්චිත අර්ථකථනයකට ලඝුකළ නොහැකි අතිශය ගතික සෑම විටම තරුණයින්ගේ මැදහත්වීමෙන් නැවුම් වන රූප ආකෘතියක්. සරළ වින්දනයේ පටන් ගැඹුරු දාර්ශනික මානයන් දක්වා එය විවිධයි. කෙටි චිත්‍රපටය පිළිබඳ කථිකාව අවසාන කරන්නට නොව ආරම්භ කරන්නට සිදුවන්නේ මෙවන් ගතික නැතහොත් අවිනිෂ්චිත ආස්ථානයක සිටයි.                         
                                                                                                            

© ඩිලන්ත රත්නායක

2012                 

No comments:

Post a Comment