Wednesday, October 30, 2019

කාබන් පිය සටහන්

ටොන් ගාණක් වුවත්

එකතු කළ හැකි
ප්‍රතිපූර්ණය කළ නොහැකි
සීතල පාද පත්ලෙහි තැවරුණ
කාබන් වූ...සීතල වූ...
මිනිස් සුසුම්..

ඔය.. ඔය ..ඔබෙත්
නිහඬව සිටින මගෙත්
පා සටහන් අතරෙහි ම

ඇත..
පෙනෙනු නැත..
ඒ සිටවූ පැළ අතර...

_____________________________________
© ඩිලන්ත පණ්ඩුක රත්නායක

2019 ඔක්තෝම්බර්

(නිමිත්ත - ඔවුන් ආඩම්බරයෙන් කියූ ලෙස ඒ ලොව පළමු කාබන් හරණ ජනපතිවරණ ප්‍රචාරක වැඩසටහනයි. 2019 අග ලංකාවේ පැවැත්වුනි. එ දෙස බලා සිටින්නෙමු)

source: http://www.ft.lk/news/World-s-first-carbon-sensitive-environmentally-friendly-election-campaign/56-688820

Monday, October 28, 2019

ඇඟේ ගානට හෑරූ පොළොවේ හැමතැන සිදුරු.




එහේ විතරක් නොවෙයි.. මෙහෙත්..
ඇඟේ ගානට හෑරූ
පොළොවේ හැමතැන සිදුරු...
හැකිළී මියෙන
මුහුණු නැති
පුංචි උන් තනි වූ

දික්වූ දෑත් නැති
කරවුන දෑස් ඇති
වැලපෙති මහ එවුන්
එබෙමින්
මුවෙහි ඒ සිදුරු...

නොදැනම
මේ සිදුරු ඇරඹුම
උන් වැටුණු පතුළෙහි ම බව
අයදිති උන්ටම
සිදුරු සෑදූ

කියති උන්
දෝතට ම දෙන බව..
වතුරත්, අකුරුත්,
සෙනෙහසත්, සතුටත්
සේ සවන පැණි ලූ

එහෙත් ඒවා හොවා ඇත්තේ
නොදන්නා වූ
පතුළක කෙළවරය
ඉදින් කිව හැක
ඒ හරි අපූරු සිදුරු

කියති උන්
රැගෙන එන බව ගැලවුම...
ලනු ද, විදින කටු ද,
විශ්මිත තාක්ෂණය ද..

බැරිම උනොතින්
පුංචි සුරතල් පෙට්ටියක්
උන්ගෙ ගණනේ..

එහෙත් විතරක් නොව මෙහෙත්..

ඇඟේ ගානට හෑරූ
පොළොවේ හැමතැන සිදුරු...
_________________________

© ඩිලන්ත පණ්ඩුක රත්නායක

2019 ඔක්තෝබර් 


(Inspired by two years old child who were stuck in a deep ground hole in southern India and ended as a tragedy; his death while the whole country struggling in a rescue mission) 

https://www.nytimes.com/2019/10/29/world/asia/india-boy-well.html