Friday, November 2, 2018

දේශප්‍රේමී පවත


එතුමෝ

තම ගැඹුරු ස්වරයෙන්
කී කල්හි
එව දේශප්‍රේමිය...

එතෙක් පරිවාර ජනයා විසින් මැ
හණ ගසා
පරිභව කෙරෙමින් සිටි ඒ
කොටියාද,
කැලෑපාලුවාද,
ස්ත්‍රී දූෂකයාද,
පගා මරුවාද ආදී දන
එ සියල් නොපනත්කම් වලින් දුරුවැ ,
අශිෂ්ඨ සළු පිළි දූරිභූත වැ
සීතාම්බර පටයෙන් පමණක්ම සැරසී වන,
එතුමන්ගේ පාදස්පර්ශයෙන් සැනහෙමින් මැ
දේශප්රේමී කුලකයට එක්වන්නාහුය...

පරිවාර ජනයා
මේ මහා ආශ්චර්යය දැක
නෙත කඳුළු නංවමින් මැ
එතුමෝ අබියස
වීරාභිවාදන පවත්වන්නාහුය........

______________________________________
© ඩිලන්ත පණ්ඩුක රත්නායක

2018 නොවැම්බර්

Thursday, October 11, 2018

නොහළ යදම් සහ කුරුසි

 නොහළ යදම් සහ කුරුසි

_____________




ගිගිරි නද නොව ඔය
ඇසෙන්නේ
සැලෙනා යදම් හඬය

නුඹේ කර මත ඇත්තේ
අහර පැසක් නොව
හිමිවරු නැඟි දෝලාවෙ බරය
පා වෙළෙවි වන්නේ
වාතය කිපී නොව
ඒ පා බැඳි යගුලිය බලව

ගත සරසවන්නේ ඔබ
පච්චයද නැතිනම්
හිමියන්ගේ සන්නමද

කුසලානයක් නොව
ගර්වයෙන් ඔසවා
කරතබාගත් කුරුසියයි ඔය

මේ හුස්ම ද, ජීවිතයද
පා යට ඇති වැලිද
හිමිය එක ලෙස
උන් දුන් දෙයක් නොව

ජය නම් එයයි
නිදහස් මිනිසෙකුව
ඉපිද පැවත මියෙන එක.

© ඩිලන්ත පණ්ඩුක රත්නායක

2018 ඔක්තෝබර්

(Inspired by the legend of "Spartacus" who was trembled the great Roman Empire by his will upon the freedom)

Picture retrieved from: https://www.ancient.eu/article/871/the-spartacus-revolt/

Monday, September 24, 2018

පෙම්වතා

 පෙම්වතා

_________________________

උගුරෙන් පහළට පිච්චීගෙන ගිය
අයිස් කැට දාපු ලෝදිය
හරස් උනා මගෙ ගමනට
විලාසිනී....

එන්න බැරි උනේ ඒකයි..

ඒකමත් නෙවෙයි....

මට තීරණයක් තිබුණේ නෑ
අහන්න කෙනෙකුත් හිටියේ නෑ

ඒකමත් නෙවෙයි..
අහන්න හයියක් තිබුණේ නෑ...

බෝඩිමේ තබා ආවාද රතු කුඩේ
දිග ගවුම ඇඳන් ආවාද දහවලේ..

උඹ හිටියද සුපුරුදු
පහන් කනුව යට
පුරාම එක් දහවල් සමයක්...
රැයවල් දහසක කාලය පැරදූ
එක් දහවල් සමයක්...

මට අහන්න කෙනෙකුත් හිටියේ නෑ
ඒකමත් නෙවෙයි..
අහන්න හයියක් තිබුණේ නෑ...

අයිස් කැට දාපු ලෝදිය
හරස් උනා මගෙ ගමනට
විලාසිනී...

මගෙ හිත හොඳයිලු
කලබල වැඩියිලු..
අම්මා කියනවා ඉස්සර
ඒකම වෙන්නැති සිද්ධ උනේ...

උඹ තාමත් එතනද දන්නෑ
උඹ කීවා මතකයි...
දහවලයි රැයයි මිස
දින අවුරුදු ගැන ගානක් නෑ...

මට ආයෙ එන්න බෑ - ආපහු පලයන්

කොහොමත් තනි නැති
දින අවුරුදු නැති
රෑ දහවල් විතරක් ඇති
ලෝකෙට පලයන්...
මම තෑගි දුන්න
දිග ගවුම ඉරා දා පලයන්...

මට අහන්න කෙනෙකුත් හිටියේ නෑ
ඒකමත් නෙවෙයි..
අහන්න හයියක් තිබුණේ නෑ...
උගුරෙන් පහළට පිච්චීගෙන ගිය
අයිස් කැට දාපු ලෝදිය
හරස් උනා මට
විලාසිනී...

©ඩිලන්ත පණ්ඩුක රත්නායක

2018 සැප්තැම්බර්

Monday, September 17, 2018

අප පෙම

 අප පෙම

______________

මේ සිසිලැති දිය දහර
ගලන්නේ
නොදන්නා ගිරි හිසෙක සිට
නොදන්නා කෙළවරකටය...

නැත සැඩ පරළු..
නැත හැපෙනු වනසනු..
පිපෙයි සිතුවිලි බැබළි
මෙ දිය වැදෙනා ඉවුරු..

තෙමී යයි සියොළඟ
දැනෙයි අදරැති දෑස් උණුසුම...

මේ සිසිලැති දිය දහර
ගලන්නේ
නොදන්නා ගිරි හිසෙක සිට
නොදන්නා කෙළවරකටය...


© ඩිලන්ත පණ්ඩුක රත්නායක

2018 සැප්තැම්බර්

Friday, September 7, 2018

සාතන්ගේ මෙහෙකරුවෝ

සාතන්ගේ මෙහෙකරුවෝ
_______________

ඕ දාර්ශනිකය...
සාතන්ට කව් පබදින...
මතුරන දෙතොල් මත
විටෙක කෙස් කඩමින...

කියන..
ගලවා ගනු මැනව ලෝකය
තනනු මැන මන්දිර මහා මාවත්...
පා ඇගිලි අතරින් මිරිකෙන කෑ ගසන..
පණුවන් මැඩ..

පොලෝ පලා එනු මැන
මා ගවසමි මල් ගෙල
අර බලන්න
දනන් ඇසිපිය නොසලන
අප පසුපසම එන

දාර්ශනිකය.. ඉදින් නිදන්න..
සිහින බලන්න..
නොනැගිටින්න
ස්වාමියා සන් කරන තුරු..

නැගිටින්න

නුඹටත් අහිමි
නුඹේ දාර්ශනික වැකිවලින් බිහිරි ව
තන නිල්ල මත නිල් අහස යට
අමළ සොම්බිලන්තයකට

©ඩිලන්ත පණ්ඩුක රත්නායක

2018 සැප්තැම්බර්