Wednesday, August 11, 2021

සුවැති තැනක්



__________________


මේ

සුසුමින් උණුසුම තැනෙන             තැනක් 

මුදු පිය මද නළ හමන                   තැනක්

තුරු පත් හෙමිහිට සැලෙන         තැනක්

එ අගින් නැළවිලි ගැයෙන             තැනක් 


මේ

රළු ගල් සුසුමන් හෙලන             තැනක්

රළු සැඩ පහරද නිවෙන             තැනක්

දෙ ඉවුරු මල් පිපි සුවැති             තැනක්

ම දිවිය හෙමිහිට ගලන              තැනක්


ඩිලන්ත රත්නායක

12.08.2021

Monday, August 9, 2021

I am the same weirdo

___________________

It's weird 

to looking at the world 

through a glass 

for the first time of my life.. 


I feel so comfortable 

and 

I can be so sure about that....


because 

you are... 

still the same heart warming perfect touching lady...  

even I am looking through this glass... 💓


And 

I am the same weirdo..😇😁


-Dilantha Ratnayake

22-08-2020



පස් විසි සම සමර


බොහෝ හිමිදිරි වලදි

මා පසෙක අවදි වන

ඔබ දිහා පුදුමයෙන් 

මා බලා ඉන්නවා


මැදියමේ මා වරෙක

අවදි වී නුඹ නිදන 

සැහැල්ලුව දෙස බලා

ළය පුරා ගන්නවා


ගේ පුරා හනි හනික

සරද්දී හදිසියක

නුඹ අසල නැවතිලා

මා බලා ඉන්නවා


(මොකද පිස්සුව කියා නුඹ සිනා නඟනවා)


ඊට ටික මොහොතකට

පෙරත් දුටු බව සැබැව

ඒත් සමනල් රෑන්

ම කුස තටු සළනවා


හරි ම උවමනාවෙන්

මොනවදෝ නුඹ කියන 

කාලයත් මා සමග

නැවතිලා අසනවා


මේ තෙක්ම නිම නොවන

සුවඳවත් උණුසුමැති

ගෙවුනු පස් විසි වසම

නුඹ මැවූ මොහොතක් ය


--ඩිලන්ත රත්නායක-

(2021 මැයි 01)

(අපි හමු වුනේ 1996 මැයි 01 වැනිදා. කුරුණෑගල විශ්ව නිකේතනයේ කොරිඩෝවක. ඒ ඇරඹි ගමන ඒ ප්‍රහර්ෂයෙන් ම කෙල්ලන් දෙදෙනාගේ කිචි බිචි මැද ඇවිද යන්නෙමු )


නිදහස් මැතිවරණ විගඩම සහ නිව්ටන්..

__________________________________________


ඒ හාදයගෙ නම නිව්ටන්. ඒක දාගන්නේ මිනිහමයි. තාත්තා දාන "නූටාන්"  නමට මිනිහ කැමති නැහැ. මිනිහ රජයේ ආධුනික ලිපිකරුවෙක්. ඉන්දියාවේ මහමැතිවරණ ය කියන්නෙ ලෝක වාර්තා ගත මැතිවරණයක්. ඡන්ද දායකයින්, අපේක්ෂකයින් සහ ඡන්ද රාජකාරි කරන නිළධාරීන් එතරම්ම ගණනක් ඊට සහභාගි වනවා. මේ කථාවේ තැනක කියනව වගේ ඒ අය ඡන්දයෙන් ඡන්දයට ඒ අයගේම වාර්තා බිඳ දමනව. 


අතිරේක ඡන්ද නිළධාරියෙකු ලෙස ඡන්ද පොළ රාජකාරි සඳහා සූදානමින් සිටින නිව්ටන් කුමාර්ට හදිසියේ අවස්ථාවක් ලැබෙනව.  අදාළ නිළධාරියාගේ අසනීපයක් නිසා ඒ වෙනුවට  මධ්‍යම ඉන්දියාවේ වනගත ගමක ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද පොළ රාජකාරියකට යන්න නිව්ටන් ට සිදු වෙනව. නිව්ටන් නිතරම අවංක වෙන්න හදන මනුස්සයෙක්. රූලෙන් පිට වැඩ මිනිහට පේන්න බැහැ. ඡන්දය වැනි වැදගත් රාජකාරියක්, ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අවස්ථාවක් සඳහා දායකත්වය දක්වන්නට ලැබෙන අවස්ථාව ගැන ආයෙත් කියන්න දෙයක් නැහැ නේ ඉතින්. 

නිව්ටන් තමන්ගේ කොමිටල් සහයකයන් දෙදෙනා සමග මාඕවාදීන් ගරිල්ලන් ගේ බලපෑම දැඩිව ඇති අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සුඟක තරම්වත් නොදන්නා දිළිඳු කමේ පතුලේ ජීවත් වන මිනිසුන් වෙත ගුවනින් යනව. ඔවුන් පිළිගන්නෙ ඉන්දියාවේ පොලිස් විශේෂ ඒකකයක්. එහි ප්‍රධානියා ආත්මා සිං.  ඔවුන් ට සහයට එන්නේ ඒ පළාතෙම ඉපිද එහිම ගුරුවරියක ලෙස සේවය කරන මල්කෝ. 

මේ චරිත සහ නූගත් දිළිඳු ගැමියන් අතර ඡන්දය වගේ ඒ මිනිස්සුන්ට අදාළ ම නැති දෙයක් කරන්න ජීවිතය පවා අනතුරේ දාගන්න නිව්ටන්. අවසානයේ ඉතා නාට්‍යාත්මකව හරියටම හවස තුනට ඡන්දය අවසන් කරනවා. Every action has a equal reaction.. ඒ ඔහුගෙ නිව්ටන් නමත් එක්ක  ම වගේ හිමිවන උපහාසාත්මක ඉරණම. ඔහුගේ ක්‍රියාව වන්නේ කොන්දේසි විරහිතව රාජකාරිය ඉටුකිරීම. නමුත් ඡන්ද දායකයාද ඡන්දය ආරක්ෂා කරන්නවුන් ද මේ ඡන්දය තුට්ටුවකට නොසැළකීමයි.  


මේ වියමන පුරා උපහාසාත්මක ව විමසන කරුණ එයයි. එය ලංකාවේ ඡන්ද වලින් සහ මිනිසුන්ගෙන් වෙනස් නොවන යථාර්ථයකි.  අදිසි නූල්වලින් නැටවෙන රූකඩ වන් මිනිස්සු දෙස මේ සිනමාකරුවා හෙළන දෘෂ්ටිය අළුත් නොවුනද අපූර්ව එකකි. නිව්ටන් ද, පොලිස් ප්‍රධානි ආත්මා ද , දිළිඳු ඡන්ද දායකයින් ද, තමන් ට තේරුම් යන හොඳම ආකාරයෙන් මේ ඡන්දය සමඟ ගණුදෙනු කරති. නමුත් මෙහි යථාව තුළ නියමාකාරයෙන් ජීවත් වන බව පෙනෙන්නේ මල්කෝය. 

අවසානයේ මේ සිනමා වියමන ඉන්දියාවේ සහ අපේ පමණක් නොව  ජනතා පරමාධිපත්‍යය අභිෂේක කරන ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිත විකෘතියේ ප්‍රකාශනයකි. 


(මෙවන් අපූර්ව වස්තු විෂයයන් අපේ අත්දැකීම් අතර හමු නොවන්නේ ද, අප සිනමාව ඒවා මගහැර යන්නේ ද ??  නැරඹූ පසු සිතන්නට යමක් 😊)


ඩිලන්ත පණ්ඩුක රත්නායක


විස්තර සඳහා:  https://m.imdb.com/title/tt6484982/




Sunday, August 8, 2021

කිරුළ සහ වලිගය

ඔවුනට හැකිය මවනට නිසැක

ඔබ හිස මතට කිරුළක්...
එසැනම වලිග කොටයක්...
වදනින් මවන ඔබ පිට සපන
ඇට මැසි සපුන් කැලතක්...
නැත උන් මඩින විදිහක්...
පැවසුම් අතර කට කොන නඟන
සිනහව බරැති අවියක්...
හිමි හිත් හදන බිරැමක්...
ඔවුනට හැකිය දිවගින් ගන්ට
මළ පිඩු යටවූ මස්සක්...
එහෙනම් ඕන අස්සක්...


© ඩිලන්ත පණ්ඩුක රත්නායක
28/04/2020


Image retrieved from: https://ideas.ted.com/dont-get-fooled-or-conned-again-here-are-the-5-tactics-to-look-out-for/

(නිමිත්ත - මාධ්‍ය ප්‍රතිරූප )

විවේක මනස සතුටු සිත සහ ගුරුවරු

විවේක මනස සතුටු සිත සහ ගුරුවරු

______________________________________

විවේක මනස අධ්‍යාපනය සමඟ, ඉගෙනුම සහ ඉගැන්වීම සමඟ පැවතිය යුතු අනිවාර්ය පදනමක්. එය තීරණය කරන සාධක බොහොමයක් තිබෙනවා. එක් ගුරුවරයෙකු ට ඇති වැඩ ප්‍රමාණය, ඔහුට/ඇයට ජීවත් වීමට සහ සංස්කෘතික ජීවිතය පවත්වාගෙන යාමට ඇති ආදායමේ ප්‍රමාණවත් බව එයින් කිහිපයක්. (මේ සංස්කෘතික ජීවිතය ගතකිරීම අධ්‍යාපනයේ වැදගත් සාධකයක් බව ගුරුවරුන්වත් කල්පනා නොකරන දෙයක්.ඒක ඒ අයට අමතක වෙලා.)
අවිවේකය සහ අතෘප්තිමත් මනස අධ්‍යාපනය තුළ ඇති කරන ගැටළු බොහොමයි. (ඒව ගැන කවුරුවත් සීරීයස් නැහැ) මේ හැම දෙයක්ම නොවුනට ඒක විසඳගන්න තියෙන මූලිකම උත්තරය තමයි තමන්ගේ ආදායම. බොහෝ රටවල ගුරුවරයා ට වැඩි වැටුපක් ගෙවන්නෙ අර කියූ විවේකය අනාගතයක් ගොඩනැඟීමේ විශාල පදනමක් වන නිසා. බාහිර පීඩනය උපරිමව අවම කරන්න ට ඕන නිසා. (ගුරුවරයට පමණක් නොවේ එය සිසුවටත් අදාළයි)


ඒ අනුව ලංකාවේ ගුරුවරයා ට මේ කියන දේවල් එක්ක සංස්කෘතික වනවා තබා සාමාන්‍ය ජීවිතයවත් පවත්වාගෙන යන්නට අසීරු බව තමා පෙනී යන්නේ. ප්‍රථිඵලය වන්නේ තම වගකීම සහකම්පනයකින් තොරව යානත්‍රිකව ඉටුකරන, අභිමානය භින්න වූ, වෘත්තීය සංවර්ධනය අතහැරදැමූ ගුරු භූමිකාවක්. (සමහරවිට අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව අසංවේදී, දරුවන් ට තඩි ගහන, පරුෂ වචනයෙන් බනින අනුකම්පා සහගත පංචස්කන්ධයක්.) එතකොට අනාගත පරම්පරාවක්ම ඉදිරියට රැගෙන යන්නේ මේ අති සෘණාත්මක බලපෑමේ දායාදය.
ඔවුන් ට කාලකන්නි කියා බනින අය නොකියන සත්‍ය ඒක. ඔවුන් කාලකන්නි කර ඇත්තේ ඒ බනින අයම සහ එය විමසන අපේ සමාජයම බව අපටත් මතක නැහැ.
මටනම් ගුරුවරුන් දෙවියන් නොවේ. නමුත් ඔවුන් ගේ සතුටු විවේක මනස අනාගතයකට විශාල පදනමක් හදාවි. ඔවුන්ගේ මෙහෙය අධි තක්සේරු නොකළාට අවතක්සේරු කරන්න ට කාටවත් අයිතියක් නැහැ. ඒකෙ වැදගත්කම සසඳන්න බැහැ. මොකද එහි ඵලය අවසානයේ දරන්නෙ මේ රටේ අනාගතය නිසා.

ඩිලන්ත පණ්ඩුක රත්නායක
23.07.2021


ගුරු අගරු


කට කියවන ලියන
සෙළවෙන රවන
හිස්ගෙඩි..
එළි තැන නොදැන
අඳුරට ම හුරු වූ
ඇස් ගෙඩි..
යව එව නවතුව
අණකට ම කීකරු
බැටළු සිතුවිලි..
ගුරු සඳ නොතැවෙව..
නුඹ ම තැනූ උන්ටය
ඒ සීතල උරහිස් අයිති..

© ඩිලන්ත පණ්ඩුක රත්නායක
04.08.2021