__________________________________________
ඒ හාදයගෙ නම නිව්ටන්. ඒක දාගන්නේ මිනිහමයි. තාත්තා දාන "නූටාන්" නමට මිනිහ කැමති නැහැ. මිනිහ රජයේ ආධුනික ලිපිකරුවෙක්. ඉන්දියාවේ මහමැතිවරණ ය කියන්නෙ ලෝක වාර්තා ගත මැතිවරණයක්. ඡන්ද දායකයින්, අපේක්ෂකයින් සහ ඡන්ද රාජකාරි කරන නිළධාරීන් එතරම්ම ගණනක් ඊට සහභාගි වනවා. මේ කථාවේ තැනක කියනව වගේ ඒ අය ඡන්දයෙන් ඡන්දයට ඒ අයගේම වාර්තා බිඳ දමනව.
අතිරේක ඡන්ද නිළධාරියෙකු ලෙස ඡන්ද පොළ රාජකාරි සඳහා සූදානමින් සිටින නිව්ටන් කුමාර්ට හදිසියේ අවස්ථාවක් ලැබෙනව. අදාළ නිළධාරියාගේ අසනීපයක් නිසා ඒ වෙනුවට මධ්‍යම ඉන්දියාවේ වනගත ගමක ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද පොළ රාජකාරියකට යන්න නිව්ටන් ට සිදු වෙනව. නිව්ටන් නිතරම අවංක වෙන්න හදන මනුස්සයෙක්. රූලෙන් පිට වැඩ මිනිහට පේන්න බැහැ. ඡන්දය වැනි වැදගත් රාජකාරියක්, ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අවස්ථාවක් සඳහා දායකත්වය දක්වන්නට ලැබෙන අවස්ථාව ගැන ආයෙත් කියන්න දෙයක් නැහැ නේ ඉතින්.
නිව්ටන් තමන්ගේ කොමිටල් සහයකයන් දෙදෙනා සමග මාඕවාදීන් ගරිල්ලන් ගේ බලපෑම දැඩිව ඇති අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සුඟක තරම්වත් නොදන්නා දිළිඳු කමේ පතුලේ ජීවත් වන මිනිසුන් වෙත ගුවනින් යනව. ඔවුන් පිළිගන්නෙ ඉන්දියාවේ පොලිස් විශේෂ ඒකකයක්. එහි ප්‍රධානියා ආත්මා සිං. ඔවුන් ට සහයට එන්නේ ඒ පළාතෙම ඉපිද එහිම ගුරුවරියක ලෙස සේවය කරන මල්කෝ.
මේ චරිත සහ නූගත් දිළිඳු ගැමියන් අතර ඡන්දය වගේ ඒ මිනිස්සුන්ට අදාළ ම නැති දෙයක් කරන්න ජීවිතය පවා අනතුරේ දාගන්න නිව්ටන්. අවසානයේ ඉතා නාට්‍යාත්මකව හරියටම හවස තුනට ඡන්දය අවසන් කරනවා. Every action has a equal reaction.. ඒ ඔහුගෙ නිව්ටන් නමත් එක්ක ම වගේ හිමිවන උපහාසාත්මක ඉරණම. ඔහුගේ ක්‍රියාව වන්නේ කොන්දේසි විරහිතව රාජකාරිය ඉටුකිරීම. නමුත් ඡන්ද දායකයාද ඡන්දය ආරක්ෂා කරන්නවුන් ද මේ ඡන්දය තුට්ටුවකට නොසැළකීමයි.
මේ වියමන පුරා උපහාසාත්මක ව විමසන කරුණ එයයි. එය ලංකාවේ ඡන්ද වලින් සහ මිනිසුන්ගෙන් වෙනස් නොවන යථාර්ථයකි. අදිසි නූල්වලින් නැටවෙන රූකඩ වන් මිනිස්සු දෙස මේ සිනමාකරුවා හෙළන දෘෂ්ටිය අළුත් නොවුනද අපූර්ව එකකි. නිව්ටන් ද, පොලිස් ප්‍රධානි ආත්මා ද , දිළිඳු ඡන්ද දායකයින් ද, තමන් ට තේරුම් යන හොඳම ආකාරයෙන් මේ ඡන්දය සමඟ ගණුදෙනු කරති. නමුත් මෙහි යථාව තුළ නියමාකාරයෙන් ජීවත් වන බව පෙනෙන්නේ මල්කෝය.
අවසානයේ මේ සිනමා වියමන ඉන්දියාවේ සහ අපේ පමණක් නොව ජනතා පරමාධිපත්‍යය අභිෂේක කරන ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිත විකෘතියේ ප්‍රකාශනයකි.
(මෙවන් අපූර්ව වස්තු විෂයයන් අපේ අත්දැකීම් අතර හමු නොවන්නේ ද, අප සිනමාව ඒවා මගහැර යන්නේ ද ?? නැරඹූ පසු සිතන්නට යමක් 😊)
ඩිලන්ත පණ්ඩුක රත්නායක
විස්තර සඳහා: https://m.imdb.com/title/tt6484982/

No comments:
Post a Comment